Wednesday, October 25, 2017

විටින් විට....

විදුලි සැර එළි
විහිද විහිදා 
විටින් විට එයි
කළු කරන් ..

පොද එකින් එක
වැටී නොනැවතී
මහා වැස්සක්
වෙයි සැනින්...

වහින වැස්සේ
ගොරව ගොරවා
නිමාවක් නැහැ
දින ගණන් ....

Monday, October 24, 2016

නුඹ මලක්.....



නුඹ මලක් සිත් බැඳි
මාවතේ කෙලවර පිපී
සුවඳ රොන්සුනු පිරී
ප්‍රේමයේ පැහැයෙන් දිලී ...

සුළඟ හා නුඹ බැඳී
මට විහිළු කල හැටී
සිප වැළඳ දුහුවිලි
රුව ගුණය විසිරුණි...

හිර කරපු සිතුවිලි
නඟන විට මැසිවිලි
අපේ පෙම වියැකුනි
මා මටම පැරදුණි ...

ඉතින් දැන් නොනැවති
යන්න නුඹ හිතවතී
මගෙ හිතින් මියැදුනි
නුඹ, සුවඳ නැහැ යළි ....

by : iRaMaLa - මුතූ

Thursday, June 18, 2015

අපේ ලෝකය....










උදේ යනවා හවස එනවා මාසෙ අග පඩි ලැබෙනවා,
දෙමාපිය නෑ හිතවතුන්ගෙන් ටිකෙන් ටික අපි මිදෙනවා,
තනාගන්නට අපේ ලෝකය වෙනම ලෝකෙක වෙසෙනවා,
ජීවිතේ ජීවත් වුනේ කොහේදිද තව හිතනවා ...

ජීවිතේ ගෙවීගිය දවස් එකිනෙක ගෙන බලා,
කල්පනාවේ යෙදී උන්නෙමි මමත් දැන් වයසයි කියා,
ඉහේ කෙස් දැන් එකින් එක ඇත සමහරක් විට සුදු වෙලා
ජීවිතේ ජීවත් වුනේ කොහේදිද තව හිතනවා ....

Friday, June 12, 2015

හීනයක් වැනි....
















අහස උසටම
නැඟෙන සිතුවිලි
මහමෙරක් බර
සුසුම් යලි යලි
ගෙනත් දී සිත
පාරවන හැටි,
දැක ගන්න
නුඹ නැතිව ගිය හැටි,
හීනයක් වැනි
දුටුව නින්දෙදි....

Tuesday, December 9, 2014

නිධන්ගත කල මතක ....

කඳුලු වියැලුනු ගිම්හානයේ
නිධන්ගත කල මතක අරගෙන
ඇවිත් නුඹ ඉඳහිටලා දවසක
තවත් හොල්මන් කරයි සිත ලඟ...

කඳුලකට සිනහවකට ඉඩ නැති
හිතපුරා ඇවිදලා හොඳහැටි
අමතකව යන පුංචි සිතුවිලි
ගෙන කොනිත්තා රිඳුම් දෙනු ඇති...


Monday, December 3, 2012

නුඹ මගෙ හිත ගාව

















අඳුරට තනිය නැති කළ 
නිල් සඳ පාන  
වාගෙයි නුඹේ සිනහව  
මගෙ නෙත ගාව ...

කළුවර නසන්නට 
නැඟ එන ඉරපාන 
වාගෙයි නුඹේ සෙනෙහස 
මගෙ හිත ගාව ...

ඉර හඳ දෙකම 
එක අහසක එක පාර 
පෑයූ වැනියි 
තනිවූ විට නුඹ ගාව  ...

Thursday, November 8, 2012

ඇස ගැටෙනා හැම තැනම කොහේ හෝ හිනැහී ඉන්නවා ...


මුළු අහසම කළු වළාකුළුවලින් වැහිලා, වැහි ලිහිණියෝ හිතුමතේ එහෙට මෙහෙට පියාඹන දිහා කවුළුවෙන් මං බලා ගෙන හිටියේ හිතට දැනුනු මහා දරුණු තනිකම ගැන ගැඹුරු කල්පනාවකට වැටිලා. පාර දිගේ කඩිමුඩියෙන් මිනිස්සු එහා මෙහා යන ශබ්දය හැරුණු කොට අතර තුර ගිය වාහනයක කේඩෑරි නළා හඬ හැර කිසිවක් ඒ අඳුරු අහස යට මගේ කල්පනාවට බාධකයක් වුනේ නැහැ. දුක මුසු මුහුදු හුළඟ එන්න එන්නම වේගවත් වුනත් එයට මගේ හිත වෙනතකට රැගෙන යන්නට තරම් හැකියාවක් තිබුනේ නැහැ.

මේ විපර්යාස සියල්ලම මැද මං තවමත් නුඹ ගැන කල්පනාවක. සොඳුරු දුක්මුසු සිතුවිලි සමුදායක් වැල නොකැඩි මගේ හිත ඇතුලේ පෙරළි කරන්නට පටන් අරන්, යන්තමින් වැහි බිංදු එක දෙක පතිත වන විට හමුවීමක මතකය හෙමිහිට මට රිදවන බව වටහා ගන්න ඇස් වල රැඳුනු කඳුළු සාක්ෂි සැපයුවා. එදත් අද වගේම වැහිබර දවසක්, ඒත් ඒ හැන්දෑව මේ තරම් මූසල නෑ හරිම ආදරණීයයි.

විනාඩි පහක හමුවීමක අතීතය ආත්ම පහක් වුවත් හිතකට වේදනාව ලඟා කරන්න තරම් හැකියාවකින් යුතු බව ඔබ හමුවී අවුරුද්දක් යනතුරුත් හිතින් මකා දමන්නට බැරි නුඹ ගැන සිතුවිලි පසක් කර අවසානයි. සමහර විට නුඹට මං ගැන මතකවත් නැතුව ඇති, නො එසේ නම් නුඹත් මා වාගේම ඒ පිළිබඳ සිතනවා ඇති...


 " හුදෙක් සිතුවිල්ලක්ම වී ඔබ
   මගේ සිත තුළ ලැඟුම් ගත් සඳ
   විඳිනු මිස සිත පෙලන තනිකම
   නුඹේ මතකය මකනු කෙලෙස ද ?? "