Thursday, November 17, 2011

පළිඟු පිනි ...















බිංදු පිනි දිය
පලිඟු කැට ලෙස
මලක පෙති අග
දිලිසුනා ..

දැනුනු සීතල
සිසිගේ කිරණෙහි
හිරුගේ තුරුලේ
අමතක උනා ..

උනුසුමට මත්වී
හිරුට පෙම් බැඳි
පුංචි පිනි බිඳ
මියැදුනා ...

Monday, August 22, 2011

හුදෙකලාව ..

















පුර හඳක් පාළුවෙන්
තරු නැතිව ආකහේ
සුදු සේල් තිර ඉරා
බලා හිඳ තුන්යමේ
නිහඬවම බැස ගියා
කවි ලියා විල් තෙරේ ..

Monday, July 4, 2011

කඳුළු පෙණ ........














සුළං දිය රැල් බදා
ගෙනත් ගොඩ බිම කරා
ගල් බැම්මේ අත අරියි
කඳුළු පෙණ විසුරුවා ..

නුඹත් ඒ සුළඟමයි
මතක දිය රැල් ගෙනැත්
හද ඉවුරෙ හප්පවා
දෙනෙත් කඳුලින් තෙමයි ..

Sunday, July 3, 2011

එනතුරා........

























එකම එක දවසකට
නුඹ ඇවිත් යනවාද
පෙර දවස හමුවූ
ඒ ඇහැළ ගහ යටට ...

කහ පාට මල් පොකුරු
පෙති සුළඟේ සල සලා
තවත් ඇති මඟ බලන්
අපි යළිත් එනතුරා ...

Friday, July 1, 2011

චන්ද කින්නරි ...




















ඉන්ද්‍රඛීලය වගෙයි නුඹෙ පෙම
නොසැලෙනා මගෙ හදවතේ
අසෙනි වැසි සැඩ සුළං ආවත්
ලංව ඉමු අපි මේ ලෙසේ..
නුඹ නමින් පාරමී පුරනා
චන්ද කින්නරි මා නුඹේ
සසර මතුදා එක්ව එන්නෙමි
නිවී සැනසෙන තුරු ලොවේ ..

Thursday, June 9, 2011

පෙම් කවි...



හඳට පෙම් කවි ලියන කිවිඳුන්
නොදැන සිටියා හඳ ගිලන් බව ..

දිනෙන් දින කෘශ වුයෙන් සඳවත
කවියෝ සෙවුවා ඒ කරුණ කිම
පමා වැඩිවුනි ඔවුන් සේරම
මියදුනා සඳ දිනේ අටවක ..

දැනුත් ඉඳ හිට දිලෙන කොට සඳ
කවියෝ කීවා අලුත් සඳ බව
නමුත් හෙවුවම ඇත්ත විස්තර
තමයි ඒ අර සඳේ හොල්මන ...

පින්න කැකුළ












පින්න කැකුළක් පිපී ලන්දේ
සුවඳ කෙරුවා මුළු වසන්තේ
ලිහී එක දෙක පෙති නිදැල්ලේ
පාවුනා මුදු සුළං රැල්ලේ
මලට පණ දුන් නටු කිනිත්තේ
කඳුළු පිරුනා ඒ ඇසිල්ලේ ...

Wednesday, May 25, 2011

කොයිබින්ද මේ තනුව .....


















දඟකාර සුළං රැල්
ඔහේ ඇදෙමින් නොයා
රැහැයි දුක් ගී හඬට
සවන් දී උන්නා
කොයිබින්ද මේ තනුව
නුඹලාට ලැබුනේ
ඒක හරි මූසලයි
හෙමින් මිමිණූවා ..
මෙය ඇසුනු රැහෙයියෙක්
කිට්ටු කර ඔහු ලඟට,
සඳවතිය සනසන්න
පෙරදාක ඔබම ගැයු
මේ තනුව ඒ තරම්
අමිහිරිද ඇහුවා ...

Saturday, May 21, 2011

බෝ දුරයි ....

















හද අඳුර සෝ බරයි
දිවිය හරි අපුලයි
විඩාවෙන් වෙලෙන සද
ආදරෙත් බෝ දුරයි ....

Sunday, May 1, 2011

......


.
.
.
.
.
.
.
.
.
අඳුරු ඡායා අසල
දිලෙන නෙක එළි අතර
නුඹේ නෙතු පහස මට
හිරු සදිසි විය කතර ....

Thursday, April 7, 2011

මගේ වරද ..














වියැකෙන්න අර දරන
ආදරේ මල,
මගෙන් වුන වරද කිම
පෙම් බැන්ඳ කම මිස ...

පහුවෙලා ...

අද සැටියේ තනිවෙලා
හිතමි මම පහුවෙලා
ආදරේ පෙර දැනුනු
සුවේ දැන් කොහි කියා ...

දුර ඈත හිඳ එදා
කිවූ ඒ රස කතා
කොහිද ගියෙ සැඟවිලා
කියන් මට ලංවෙලා

එකව හිඳ දුරස් බව
මට දැනෙන හැටි රළුයි
ආදරේ වියපත්ව
යන රඟේ අපූරුයි ..

Tuesday, March 29, 2011

අහිංසක කුමාරි ...
















අහිංසක හදවතට
දිනෙන් දින විඩා දී
ටිකෙන් ටික තරු ඇවිත්
ඇගෙ ලොවම දවාවි
අඳුරු වූ ඇගෙ ලොවට
එළිය සේ ලඟාවී
දවන සැටි පුදුමයකි
අහිංසක කුමාරි ...

Monday, March 28, 2011

~ හති ~

















සතර අතටම
මගේ සතුටට
නැඟුනු බාධක බිඳ හෙලා ,
හති වැටී මම හඬා වැළපෙමි
තවත් සිත දිරි නැති නිසා ..

Thursday, March 17, 2011

~~ බීරි වූ මට ~~

මගේ හිත් පෙට්ටගමේ
දුකම කුරුටු ගෑ පොතක් ඇත
නිති සිරකර තැබූවත්
අඟුලු බිඳ දා
විටක එයි එළි පහළියට
මහ හඬින් හද දෙපළු කරගෙන,
වීනාව වයයි
තොර තෝංචියක් නැතුවම ..

Tuesday, March 8, 2011

හිරු පතමින්




මුළු රැය නිහඬයි
පාළුව රජයයි
සඳ පායා ඇත
එනමුත් අඳුරුයි ..
මා සිත සසලයි
කඳුලැලි වගුරයි
හිරු පතමින් සිත
සඳු ලඟ සැනසෙයි ..

Sunday, March 6, 2011


හදවත ගැස්සෙයි
නුඹ නෙතු අස්සේ
සැඟවුනු රහසට
ඉව වැටිලා ...

පිබිදී නින්දෙන්
බලාන උන්නා
එනතුරු නුඹ 
හදවත සපුරා ..

සිත මගේ සද්දෙන් 
හැඬුවා මතකයි
ඇයි තව නාවේ 
නුඹ කියලා ... 

Friday, February 25, 2011

මඟතොට විත්ති.. ..


හැමදාම යනෙන මඟ
දකින පිං පෙට්ටියට
දිව ගොසින් තුති පඬුරු
දමයි මතු දියුණුවට ..

මාරු නැහැ බහිනකොට
ඉල්ල ගන්නයි කියන
වචන පමණයි විටක
නොමැත ඉතිරිය අතට ...

ඉතිරි දිය යුතු කාසි
පිං පෙට්ටියට දැමුනා වත්ද ??

Wednesday, February 23, 2011

මිතුරියේ මම නම්;


ලැබුණු මිතුදම රකිමි සතොසින්
නුඹට නුඹෙ ලොව ඔහුම වූවත්
කිසිදිනක නුඹ මෙසේ නොකියයි
මගේ සිත නුඹ හොඳින් දතහොත්...

කිසිම දවසක නුඹ දෙවැනි කොට, සිතා නැහැ මේ වනතුරා
සැමට කළියෙන් නුඹට නැමුවෙමි, මගේ හිස සිත තුටු වඩා 
මිතුරියක් ලෙස නුඹයි පැතුවේ, සිටින්නට ලඟ දිරි වඩා
හැරදමා යන මිතුදමක් නම්, පැතුවෙ නෑ සිහිනෙක පවා ...

Monday, February 21, 2011

දෙව්විමන්...



මුහුණ මුණ ගැසුනමුත්
සිනහවක් නෑ ඇඳී
සිහිනයෙන් අවදි වී
මාවතේ යයි ඇඳී
අනෙකාට කුමක් විද
දන්නේ දෙවි පමණකි ..
පින් දෙන්න වත් නොහැකි
මිනිස්කම් දැක සකී
දෙවුයනුත් දෙව්විමන්
හැර ගිහිල්ලා ඇති ..

පල් වීම..


සතුටු ගඟ ගලා යයි
දුක් සයුර සොය සොයා
අපි මෙතන නතර විමු
දුකින් මිදෙමුයි සිතා..
විලක් වී සතුටු දිය
දිනෙන් දින පල් වුනා ..

බැලුම්






නිල් බැලුම් සුදු බැලුම්
පිරුණු සාදය පුරා
නෙක බැලුම් අතර මා
අතරමං වී ගියා ...

Saturday, February 19, 2011

සියක් පෙති ..



සියක් පෙති මල් අරන් දෝතට
බුදුන් පාමුල වැඳ වැටී
දහස් වර මා අයැද සිටියෙමි
ඔබේ මුවඟට හසරැලි ..

සෙනෙහසින් සිත පිරී ඉතිරුනි
නැවුම් පැතුමන් මල් පිපී
ඒ පැතුම් මල් නෙලා දෝතට
බුදුන් පිදුමට යමු අපි ..

Thursday, February 10, 2011

වැලන්ට්යින් සමරන්න වැලේ වැල් නැතුව බලා ඉන්න අපේ ඇත්තො ..




Saint's Valentine Day එහෙමත් නැතිනම් අපේ විදියට ආදරවන්තයින්ගේ දවස (පෙබරවාරි 14), මේ දිනයත් එක්ක සම්බන්ධකම් තිබ්බෙ ගොඩක්ම කතෝලික ඇත්තන්ගෙ. හැබැයි දැන් වෙනකොට ජාති ආගම් බේද නැතුව හැම රටකම, හැම සංස්කෘතියකම මුල් බැහැපු සංකල්පයක් වෙලා. මම අහල තියෙන විදියට නම් 1969 දි 6 වන පාප්තුමා විසින් වැලන්ටයින් දිනය රෝමානු කැලැන්ඩරයෙන් මකා දැම්මලු. හැබැයි ඉතින් මේ දවස තහනම් කලා කියන එක නෙවේ ඒකෙ අදහස. වැලන්ට්යින්  දවස තියෙන්නෙ ආදරේ කරන අයට ඒ ආදරේ එකිනෙකාට ප්‍රකාශ කරන්නලුනේ.

මම දන්න තරම් අතීතයට ගියොත් ඒ දවස්වල  ඉඳල අදාරේ ප්‍රකාශ කරන දවසට මල් පොකුරක්, තෑග්ගක්, සුභ පැතුම් පතක්, චොක්ලට් වගෙ දේවල්නේ ගොඩක් විට මේකට යොදා ගත්තේ, සමරන ක්‍රම වේදය පිළිබඳව ගැටළුකාරි තත්වයක් තිබුනත් කියන්න හදන්නෙ මේකයි, ඉස්සර නම් බොහෝවිට තමන්ම මේ දේවල් හදන්න පෙළඹිලා හිටියට ( චොක්ලට් හැර) , දැන් මේ හැම දෙයක්ම වාණිජකරණය වෙලා එහෙම බැලුවම ආදරවන්තයින්ගේ දවස වැඩියෙන්ම වටින්නේ කාටද ??..

අද තියෙන තරඟකාරිත්වය හින්දම ආදරේ වගේම අම්මා තාත්තත්, දරුවනුත් වෙන වෙනම දවස් වලට සීමා වෙලා, ඇත්තටම මම නම් හිතන්නේ සීමා කරගෙන. එකෙන් වැඩිම වාසිය තියෙන්නේ වෙළෙඳ මහතුන්ට කියලයි මට හිතෙන්නෙ.මම ලිපිය පටන් ගත්තේ " වැලන්ට්යින් සමරන්න්න වැලේ වැල් නැතුව බලා ඉන්න අපෙ ඇත්තන්ට .." ඔන්න ඔහොමනේ, මං මෙහෙම කිව්වේ පවතින ආර්ථික තත්වයත් එක්ක සුභ පැතුම් පතක්, තෑග්ගක් දෙනව කියන්නේ හැමෝටම කරන්න බැරි දෙයක් නිසා.. ( ඉතින් එහෙම ඇත්තන්ට වගේම ඇත්තටම ආදරේ කරන විඳින අයට ඒ ආදරේ ප්‍රකාශ කරන්න තියෙන හොඳම විදිය තමන්ගෙම අතින් හදපු දෙයක් සමරුවක් විදියට දෙන එක.  ලාභදායි වගේම වටිනාකමෙන් වැඩි දෙයක් දෙයක් දෙන්න හැමෝම කැමතියි නිසයි මගේ මේ අදහසත් මෙතෙනට ඇමිණුවේ )

තවත් දෙයක් තියනව සමහර පිරිස් වැලන්ටයින් කියන සංකල්පයට වගේම එක සමරන එකටත් අකමැති, සමහර අයෙක් කැමතියි. හරිහැටි වෙලාවක් නැති කාර්යබහුල අයට මෙහෙම දවසක් තියෙන එකේ වැදගත්කමක් ඇති. හැබැයි මම හිතන්නේ ආදරේදි හැමදාම වැලන්ටයින් තියෙන්න ඔනේ ..වැලන්ටයින් දවසට සීමා වෙලා ඒ දවසට විතරක් ආදරේ පෙන්නල වැඩක් නැහැ කියලයි..

Friday, February 4, 2011

මමත් එන්න ද ??

බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙ කියල හිතේ තිබ්බ අදහසක් ක්‍රියාත්මක කරන්න පොඩියට ගත්ත වෑයමක මුල්ම ප්‍රථිඵලය තමයි මේ. තවම මම බ්ලොග් කෙරුවාවට අලුත් ( අලුත් කීවෙ අලුත්ම අලුත්).

මගේ හිතේ තදබල විදියට අශාවන් දෙකක් තියනව.
1. කියවන්න - ඒ අශාව සංසිඳුවා  ගන්න පොත් විතරක් නෙවෙයි බ්ලොග් පවා කියවනව.

2.ලියන්න - අහුවෙන හැම හිස් කොල කෑල්ලකම හිතට එන එව ලියනව.පස්සෙ වෙලාවක කියවනව, සමහර ඒව කියවනකොට හිතෙනව කවුද අප්ප මේව ලිව්වෙ ෂහ් හොඳට ලියලා තියනවනේ කියල, සමහර ඒව කියවනකොට හිතෙනව් ඇයි මේක ලිව්වෙ කියල.
                            ඒ වගේම ලොකු උනාම :) පොතක් ලියන්න කියල හිතාගෙන ලියනවා, හපොයි ඒකට මං තවම පුංචි වැඩී ( වයසින් කෙසේ වෙතත් අදහස් වලින්). ඉතින් එකට පෙරහුරුවක් විදියට බ්ලොග් ලියන එකත් ලොකු පිටුවහලක් වෙවී කියල හිතනව..

ඔන්න ඔහොම හිතාගෙන තමයි මම නොහොත් iRaMaLa  බ්ලොග් කලාවට ලාවට වගේ පිවිසෙන්නේ..
:) :)