Thursday, June 18, 2015
අපේ ලෝකය....
උදේ යනවා හවස එනවා මාසෙ අග පඩි ලැබෙනවා,
දෙමාපිය නෑ හිතවතුන්ගෙන් ටිකෙන් ටික අපි මිදෙනවා,
තනාගන්නට අපේ ලෝකය වෙනම ලෝකෙක වෙසෙනවා,
ජීවිතේ ජීවත් වුනේ කොහේදිද තව හිතනවා ...
ජීවිතේ ගෙවීගිය දවස් එකිනෙක ගෙන බලා,
කල්පනාවේ යෙදී උන්නෙමි මමත් දැන් වයසයි කියා,
ඉහේ කෙස් දැන් එකින් එක ඇත සමහරක් විට සුදු වෙලා
ජීවිතේ ජීවත් වුනේ කොහේදිද තව හිතනවා ....
Friday, June 12, 2015
හීනයක් වැනි....
අහස උසටම
නැඟෙන සිතුවිලි
මහමෙරක් බර
සුසුම් යලි යලි
ගෙනත් දී සිත
පාරවන හැටි,
දැක ගන්න
නුඹ නැතිව ගිය හැටි,
හීනයක් වැනි
දුටුව නින්දෙදි....
Tuesday, December 9, 2014
නිධන්ගත කල මතක ....
කඳුලු වියැලුනු ගිම්හානයේ
නිධන්ගත කල මතක අරගෙන
ඇවිත් නුඹ ඉඳහිටලා දවසක
තවත් හොල්මන් කරයි සිත ලඟ...
කඳුලකට සිනහවකට ඉඩ නැති
හිතපුරා ඇවිදලා හොඳහැටි
අමතකව යන පුංචි සිතුවිලි
ගෙන කොනිත්තා රිඳුම් දෙනු ඇති...
නිධන්ගත කල මතක අරගෙන
ඇවිත් නුඹ ඉඳහිටලා දවසක
තවත් හොල්මන් කරයි සිත ලඟ...
කඳුලකට සිනහවකට ඉඩ නැති
හිතපුරා ඇවිදලා හොඳහැටි
අමතකව යන පුංචි සිතුවිලි
ගෙන කොනිත්තා රිඳුම් දෙනු ඇති...
Monday, December 3, 2012
නුඹ මගෙ හිත ගාව
කළුවර නසන්නට
නැඟ එන ඉරපාන
වාගෙයි නුඹේ සෙනෙහස
මගෙ හිත ගාව ...
ඉර හඳ දෙකම
එක අහසක එක පාර
පෑයූ වැනියි
තනිවූ විට නුඹ ගාව ...
Thursday, November 8, 2012
ඇස ගැටෙනා හැම තැනම කොහේ හෝ හිනැහී ඉන්නවා ...
මේ විපර්යාස සියල්ලම මැද මං තවමත් නුඹ ගැන කල්පනාවක. සොඳුරු දුක්මුසු සිතුවිලි සමුදායක් වැල නොකැඩි මගේ හිත ඇතුලේ පෙරළි කරන්නට පටන් අරන්, යන්තමින් වැහි බිංදු එක දෙක පතිත වන විට හමුවීමක මතකය හෙමිහිට මට රිදවන බව වටහා ගන්න ඇස් වල රැඳුනු කඳුළු සාක්ෂි සැපයුවා. එදත් අද වගේම වැහිබර දවසක්, ඒත් ඒ හැන්දෑව මේ තරම් මූසල නෑ හරිම ආදරණීයයි.
විනාඩි පහක හමුවීමක අතීතය ආත්ම පහක් වුවත් හිතකට වේදනාව ලඟා කරන්න තරම් හැකියාවකින් යුතු බව ඔබ හමුවී අවුරුද්දක් යනතුරුත් හිතින් මකා දමන්නට බැරි නුඹ ගැන සිතුවිලි පසක් කර අවසානයි. සමහර විට නුඹට මං ගැන මතකවත් නැතුව ඇති, නො එසේ නම් නුඹත් මා වාගේම ඒ පිළිබඳ සිතනවා ඇති...
" හුදෙක් සිතුවිල්ලක්ම වී ඔබ
මගේ සිත තුළ ලැඟුම් ගත් සඳ
විඳිනු මිස සිත පෙලන තනිකම
නුඹේ මතකය මකනු කෙලෙස ද ?? "
Tuesday, August 7, 2012
යදමින් බැඳ විලංගු ලා, මගේ පුතා රැගෙන යන්න...
මම රැඩිකල් ලු, අනේ මන්දා මම එහෙම නෑ. මම මගේ හිතට මාත් එක්ක කතා කරන්න වෙලාවක් දෙනවා, මං මගේ මනසත් එක්ක කතා කරනවා. හදවතයි මනසයි දෙකම එකඟ වෙන දේවලට මමත් එකඟ වෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් මිනිස්සු කියන්නේ ගඟ ගලන්නේ පහළට නම් ඔයත් ඒ පැත්තට යන්න, නිකන් බොරුවට අමාරුවෙ වැටෙන්නේ නැතුව කියන දේ.
මගේ තාත්තා කියපු දෙයක් මතක් වෙනවා " ජරා ගොඩක් තියෙනව කියල හිතන්න ඔයා ඉන්න තැන, නමුත් අනිත් අය ඒකෙන් අපහසුතාවයට පත්වුනාට කිසි දෙයක් කරන්න යන්නේ නෑ. එතන ඉන්න ගොඩක් අය හිතයි,
ඇයි මංම මේක අරන් දාන්නේ මෙච්චර අය ඉද්දි,
අනිත් අයට ඉන්න පුළුවන් නම් මේ ගඳ ඉවසගෙන ඉන්න ඇයි මට බැරි,
මං මේක අරන් දාන්න ගිහින් ගෑවුනොත් අනිත් උන් මට හිනත් වෙයි,
මං මේක අරන් දාන කල් ඉඳලා අනිත් උන් ලකුණු දා ගනි වගේ එව්ව මෙව්ව ගොඩක් හිතලා අහක බලන් ඉදී.
ඒ වගේ වෙලාවට ඔයාට තේරීම් තුනක් තියෙනව..
1. ඔයා ඒ ජරා ගොඩ අරන් දාන්න.
එහෙම බැරි නම්
2. ඔයත් ඒ ජරා ගොඩේම ජීවත් වෙන්න පුරුදු වෙන්න.
එකත් බැරි නම්
3. ඔයා ඒ ජරා ගොඩෙන් ඈතට යන්න.
හැබැයි මතක තියා ගන්න හොඳම දේ ඒ ජරා ගොඩ අරන් දාන එක. එතකොට අනිත් අයටත් එක පහසුවක් වේවි. ඔය දිහා අනිත් අය වපර ඇහින් බලයි ඔය ඒ ජරා ගොඩ ඇල්ලුව කියල ඔයාව පිළිකුල් කරයි, කොන් කරයි. එත් කවද හරි එතන හිටපු මොලේ තියෙන එකෙක් කියයි එයා නිසා තමයි අපි ගඳ නැතුව ඉන්නෙ කියලා.. කිව්වත් නැතත් ඔයගේ හිතට සතුටක් තියෙයි ඔයා හරිදේ කළා කියල."
මේ ඔක්කොම කීවේ මං දිනපතාම අහන ගීතයක් ගැන ඔයාලට කියන්න.
නන්දා මාලිනියගේ හඬින් ගැයෙන අපූරු ගීතයක් මගේ ජීවිතේ තේමාවක් වෙලා. මම ආසයි මේ සමාජ ක්‍රමය වෙනස් වෙනවට [යහපත් විදියට] , ඒ වෙනුවෙන් කැප වෙන්නත් මම ලෑස්තියි. නමුත් මගේ උත්සහය අසාර්ථකයි, එහෙම උත්සහ කල හැම අවස්ථාවකම තනි වෙන්න උනා විතරයි. බහුතරය වෙනස් වෙන්න අකමැතියි.
ඒ ගීතය ගොඩක් අය අහල නැතුව ඇති, නමුත් මෙය මගේ ප්‍රියතම ගීතයක්.. මෙහි පද මාළාව අහන හැම විටකම මට හිතෙන්නෙ අද වෙනකොට අපි අත් විඳින්නේ මේ තත්වය නේද කියල...
යදමින් බැඳ විලංගු ලා
මගේ පුතා රැගෙන යන්න,
ඉඳිකටු ඇන ඇඟිලි තලා
දෙතිස් වධය පමුණුවන්න,
අළුත් ලොවක් ගැන සිතීම
දඬුවම් දෙන වරද නම්,
කුමට එරට අධිකරණය
නීතිය සහ විනිසුරන් ..
කකා බිබී නටන අතර
නරුම යහළු යෙහෙළියන්,
පන්දු කෙළින අතර
ඉහළ පාසල් වල අමනයන්,
රට ගිනි ගෙන ඇති වග දුටු
මගේ එකම පුතුනුවන්,
එ ගිනි නිවන මඟ සෙවීම
වරදක් දැයි මට කියන් ..
ගිනි ගන්නා රටක කෙළින
මීහරකුන් වැනි පුතුන්,
කුමටද මට මහ විරුවෙකි
සිරගෙයි මළ මගෙ පුතුන් ..
කෝටි ගණන් බිහි වේවා
මගෙ පුතු වැනි තව පුතුන්,
කිරි මවු ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලඟ උතුම් ...
යදමින් බැඳ ..
ඔයාලත් මේ ගීතය අහන්න. ඔයලට හිතුන දේත් කියන්න අමතක කරන්න එපා...
Thursday, June 28, 2012
මට පුදුම හිතුනා ....
නීලවන් කෙස් රොදකි
නුඹේ මුව සිඹිනා
රෝස පැහැ තොල් අතර
නිතර සැරිසරනා ..
ටිකෙන් ටික නීල පැහැ
සැඟවෙලා තිබුනා
සුළඟ හා හාද වී
ගියාදෝ සිතුනා ..
පුංචි මුව විඩාබර
පාලුවෙන් එතිලා
එදා දඟකාරකම
නැතිවෙලා තිබුනා ..
දකින්නට ආ දිනේ
මට පුදුම හිතුනා
යසට තිබු නිල් වරල
බූ ගාල තිබුනා ..
නුඹ දකින සඳ
හිතට මහ දුකක් දැනුනා
ඒ තරම් නුඹ නගේ
වෙනස් වී තිබුනා ...
Subscribe to:
Posts (Atom)






