Thursday, November 8, 2012

ඇස ගැටෙනා හැම තැනම කොහේ හෝ හිනැහී ඉන්නවා ...


මුළු අහසම කළු වළාකුළුවලින් වැහිලා, වැහි ලිහිණියෝ හිතුමතේ එහෙට මෙහෙට පියාඹන දිහා කවුළුවෙන් මං බලා ගෙන හිටියේ හිතට දැනුනු මහා දරුණු තනිකම ගැන ගැඹුරු කල්පනාවකට වැටිලා. පාර දිගේ කඩිමුඩියෙන් මිනිස්සු එහා මෙහා යන ශබ්දය හැරුණු කොට අතර තුර ගිය වාහනයක කේඩෑරි නළා හඬ හැර කිසිවක් ඒ අඳුරු අහස යට මගේ කල්පනාවට බාධකයක් වුනේ නැහැ. දුක මුසු මුහුදු හුළඟ එන්න එන්නම වේගවත් වුනත් එයට මගේ හිත වෙනතකට රැගෙන යන්නට තරම් හැකියාවක් තිබුනේ නැහැ.

මේ විපර්යාස සියල්ලම මැද මං තවමත් නුඹ ගැන කල්පනාවක. සොඳුරු දුක්මුසු සිතුවිලි සමුදායක් වැල නොකැඩි මගේ හිත ඇතුලේ පෙරළි කරන්නට පටන් අරන්, යන්තමින් වැහි බිංදු එක දෙක පතිත වන විට හමුවීමක මතකය හෙමිහිට මට රිදවන බව වටහා ගන්න ඇස් වල රැඳුනු කඳුළු සාක්ෂි සැපයුවා. එදත් අද වගේම වැහිබර දවසක්, ඒත් ඒ හැන්දෑව මේ තරම් මූසල නෑ හරිම ආදරණීයයි.

විනාඩි පහක හමුවීමක අතීතය ආත්ම පහක් වුවත් හිතකට වේදනාව ලඟා කරන්න තරම් හැකියාවකින් යුතු බව ඔබ හමුවී අවුරුද්දක් යනතුරුත් හිතින් මකා දමන්නට බැරි නුඹ ගැන සිතුවිලි පසක් කර අවසානයි. සමහර විට නුඹට මං ගැන මතකවත් නැතුව ඇති, නො එසේ නම් නුඹත් මා වාගේම ඒ පිළිබඳ සිතනවා ඇති...


 " හුදෙක් සිතුවිල්ලක්ම වී ඔබ
   මගේ සිත තුළ ලැඟුම් ගත් සඳ
   විඳිනු මිස සිත පෙලන තනිකම
   නුඹේ මතකය මකනු කෙලෙස ද ?? "

2 comments: